ආහාර හිඟයක් ,අත්‍යවශ්‍ය ආහාර බෙදන්නේ මෙහෙමයි – කෘෂිකර්ම ලේකම්

ආහාර හිඟයක් ,අත්‍යවශ්‍ය ආහාර බෙදන්නේ මෙහෙමයි  – කෘෂිකර්ම ලේකම්

රට තුළ පවතින ආර්ථික , සමාජීය අර්බුද හමුවේ කිසියම් ආකාරයකට ආහාරවල හිඟතාවක් ඇතිවීමට ඉඩකඩ ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ පවසනවා. ඊයේ (21) පෙරවරුවේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ලේකම්වරයා සඳහන් කළේ, පුද්ගලයින්ට පරිභෝජනය සඳහා රට තුළ ආහාර තිබීම අනිවාර්යය වන අතර, කිසියම් අයුරකින් ආහාර අර්බුදයක් ඇති වුවහොත්, ආහාර හුවමාරු ක්‍රමවේදයකට අප යා යුතු බවයි.

තමන් පවසන ආහාර හුවමාරු ක්‍රමවේදය ගැන වැඩිදුරටත් අදහස් දක්වමින් ලේකම්වරයා කියා සිටින්නේ, ආහාර හුවමාරුවක් යනු බඩඉරිඟු භෝගයේ රික්තකයක් පවතින්නේ නම්, මිත්‍ර රටකින් අප රටට අදාළ භෝගයට සරිලන පරිදි අවශ්‍ය ටොන් ප්‍රමාණය ලබාදෙන ලෙස ඉල්ලා, ඒ වෙනුවෙන් මෙරටින් කිසියම් දෙයක් ඒ සඳහා ප්‍රදානය කළ යුතු බවයි.

උදාහරණයක් ලෙස එය හරියට ණය ලබාදෙන විට දී සල්ලි දෙන ආකාරයේ ක්‍රියාවක් බවත්, ඇතැම් අවස්ථාවල දී එවන් තීරණයකට එළැඹුණේ ඇයි දැයි යන ගැටලුව අපට මතුවීමට වුව ද ඉඩකඩ ඇති බවත්, එහෙත් පළමුවෙන්ම කළ යුත්තේ, ප්‍රධාන අර්බුදයට කඩිනමින් විසඳුම් සෙවීම බවත් මහාචාර්යවරයා පවසනවා.

මෙහිදී මහාචාර්ය උදිත් ජයසිංහ අවධාරණය කරන්නේ, කිසියම් අයුරකින් ආහාර අර්බුදයකට ලක්වීමට අපට සිදු වුවහොත්, රට තුළ ජීවත් වන ආහාර අත්‍යවශ්‍යම කාණ්ඩය වන ගැබිනි මව්වරුන්, දරුවන්, රෝගීන්ට ප්‍රමුඛතාව ලබා දී, තරුණයින් වැනි කොට්ඨාසය විසින් කිසියම් වැඩපිළිවෙළක් යටතේ ආහාර අවම ලෙස පරිභෝජනයට යොමු වෙමින් , සුළු හෝ කැප කිරීමක් රට වෙනුවෙන් කිරීම සුදුසු බවයි.

මෙම ක්‍රියාවලිය සඳහා පූර්ව සූදානම වන්නේ, පිටරටින් ආනයනය කරනු ලබන අත්‍යවශ්‍ය නොවන ආහාරපාන සීමා කර, අත්‍යවශ්‍ය වන කිරිපිටි ආදී ද්‍රව්‍යවලට පමණක් ඉදිරියේ දී ආනයනයට අවස්ථාව සඳහා අවධානය යොමු කිරීමට මෙරට ආර්ථිකයට හැකියාවක් පවතින්නේ නම්, එය ඉදිරියේ ඇති සංවර්ධනයට අතිශය රුකුලක් වන බව ද හෙතෙම පෙන්වා දෙනවා.

එමෙන්ම ඊට හේතුව මානසික ආතතිය නොවන අතර, තමන් ලේකම්කම් පමණක් නොව සිය කථිකාචාර්ය ධුරයේ දේශන සඳහා මෙන්ම විවිධ පර්යේෂණ කටයුතු වෙතට ද යොමු ව ඇති හෙයින් ලේකම් ධුරයක් නිසා කිසිදු අයුරකින් සෙසු අවශ්‍යතා මග නොහරින බව ද හෙතෙම සඳහන් කළා.

සියලුම රාජකාරි මධ්‍යයේ වුව ද ලේකම්කම මෙන්ම වැරදුණු තැන් නිවැරදි කරමින් ද කටයුතු කරන හෙයින්, තමන් දැනුවත් ව ආතතියක් නොමැති බවත්, එහෙත් සිත් තැවුලක් ඇති බවත්, කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ වැඩිදුරටත් කියා සිටියා.