මෙරට තේ අපනයනයට ඉරානයේ සහයෝගය

මෙරට තේ අපනයනයට ඉරානයේ සහයෝගය

මෙරට තේ ඉරානයට අපනයනය කිරීමට පහසුකම් සැලසීම සඳහවන අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ හා ඉරාන ඉස්ලාමීය ජනරජයේ කර්මාන්ත, පතල් සහ වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය Alireza Paymanpak මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (21) විදේශ අමාත්‍යංශයේදී සිදුකර තිබෙනවා.

2016 වසර වනවිට ඉරාන වෙළඳපොලේ සියයට 47ක් පමණ හිමිකරගෙන සිටි ලංකා තේ කර්මාන්තය 2020 වසර වනවිට සියයට 25 දක්වා පහත වැටී ඇති බවයි වැවිලි අමාත්‍යංශය නිවේදනය කළේ.

ගෙවීමේ ගැටලු , ඉරාන රියාල් ක්ෂයවීම වැනි ගැටළු ඒ සඳහා ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා.

2012 නොවැම්බර් මාසයේදී ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරානයට සම්බාදක පැනවීමත් සමග බැංකු පද්ධතිය හරහා මුදල් ගෙවීමට පිළිගත් යාන්ත්‍රණයක් නොමැතිවීම හේතුවෙන් ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ට ඉරාන ගැනුම්කරුවන්ගෙන් මුදල් ලබාගැනීමද අපහසු තත්වයක පැවතුණා.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම මගින් ලංකා තේ වැඩිවශයෙන් ඉරානයට අපනයනය කිරීමට හැකියාව ලැබෙන අතර එමගින් ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉරාන ජාතික තෙල් සමාගමට දිගුකාලීනව ගෙවීමට ඇති ඇමරිකානු ඩොලර් කෝටි 25 කට වැඩි මුදලක දිගුකාලීන ණය පියවීම සඳහා යාන්ත්‍රණයක් සැකසීමටද යෝජනාකර තිබෙනවා.

එම ණය මුදල් රුපියල් වලින් ගෙවීමට ද මෙමගින් යෝජනාවී ඇති බැවින් මෙම ක්‍රියාවලිය හරහා මෙරට තුළ විදේශ මුදල් ඉතිරි කෙරෙනු ඇති බවයි වැවිලි අමාත්‍යංශය නිවේදනය කළේ.