ලිට්‍රෝ ගෑස් නැවක් පරීක්ෂාවකින් පසු මුදා හරියි

ලිට්‍රෝ ගෑස් නැවක් පරීක්ෂාවකින් පසු මුදා හරියි

ලිට්‍රෝ සමාගම විසින් මෙරටට ආනයනය කරන ලද එක් නෞකාවකට එහි ඇති ගෑස් ගොඩබෑම සඳහා අවසරදී තිබේ.

දෙවන වරට පැමිණි නෞකාව මෙලෙස ගෑස් ගොඩබෑමට අවසර ලබාදී ඇති බව වාර්තා වේ.

ලිට්‍රෝ සමාගම විසින් පසුගියදා ඇණවුම්කරන ලද ගෑස් රැගත් නැවක් මෙරටට පැමිණි අතර පාරිභෝගික අධීකාරිය, ඛණිජ තෙල් සංස්ථාව සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු කණ්ඩායම් කිහිපයක් එහි ප්‍රමිතිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකළේය.

එහිදී එම ගෑස්වල ප්‍රොපේන් සහ බියුටේන් සංයුතිය නියමිත ප්‍රමිතියට පවතින බවට අනාවරණය වී ඇත

එහෙත් “එතිල් මර්කැප්ටන්” නමැති රසායනික ද්‍රව්‍ය නියමිත ප්‍රමිතියට නොපවතින බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මේ හේතුවෙන් පාරිභෝගික සේවා පිළිබඳ අධිකාරිය විසින් එම නෞකාවල ඇති ගෑස් ගොඩබෑමට අවසර ලබානොදුනි.

එහෙත් ඊයේ (17) දිනයේ ඉන් එක් නෞකාවක ඇති ගෑස් ගොඩබෑමට අවසර ලබාදී ඇති බව වාර්තා වේ.

ඒ හේතුවෙන් ලිට්රෝ ගෑස් බෙදාහැරීම අද සිට යළි ආරම්භ කර තිබෙනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ මෙරටට ගෙන්වන ලද එක් ගෑස් නෞකාවක අඩංගු එල්.පී.ගෑස් සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය හිමිවීමත් සමඟ මෙලෙස සිය මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කරන බවයි.

තවත් ගෑස් නෞකා 02ක් කෙරවලපිටිය ලිට්රෝ ගෑස් පර්යන්තය ආසන්න මුහුදේ නතර කර ඇති බවත් එහි අඩංගු ගෑස් සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය අපේක්ෂාවෙන් පසුවන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.