මේ සිරිපා වන්දනා සමයයි

මේ සිරිපා වන්දනා සමයයි

ශ්‍රීපාද වන්දනා සමය අදින් ඇරඹේ. එළැඹෙන මැයි මස, එසේත් නැතිනම් වෙසක් මාසය දක්වා එය එසේමය. මෙරටට පමණක් නොව විදේශිකයන්ට ද ශ්‍රීපාද කන්ද තරණය අපූර්ව අත්දැකීමකි.

මෙවර ද අතිවිශාල ජනතාවක් මෙහි පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ සමඟම අකුරටම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අදාළ නීතිරීති හා දැනුවත් කිරීම් ක්‍රියාවට නැංවේ. ඒ සඳහා ආරක්ෂක, සෞඛ්‍ය හා පරිපාලන අංශ දිවා රාත්‍රි ඇප කැපවී සිටිති.

එන්නත්කරණ කාඩ්පත අනිවාර්යයි

කොරෝනා මර්දන එන්නත ලබාගත් බවට වන එන්නත්කරණ කාඩ්පත හෝ එහි පිටපතක් මෙවර ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන සෑම බැතිමතෙකු ළඟම තිබිය යුතුය. එසේම වෙනදා මෙන් එකට එක්රැස් වී ශ්‍රීපාද මළුවේ රාත්‍රිය පුරා නවාතැන් ගැනීමට පැතිරෙන වසංගත තත්ත්වය නිසා අවසර නොලැබේ.

‍එමෙන්ම නිසිපරිදි මුඛ ආවරණ පැලැඳ සිටිය යුතුය. සමාජ දුරස්ථතාව පවත්වා ගැනීමට අමතක නොකළ යුතුය. ඊට අදාළ නීතිය තරාතිරමකින් තොරව තදින් ක්‍රියාත්මකය. එය ක්‍රියාවට නැංවීමට රාජකාරි හා සිවිල් ඇඳුමින් සැරසුණු ආරක්ෂක අංශ සාමාජිකයන් යොදවා ඇත. ඒ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ආදි සෙසු සෞඛ්‍ය මාර්ගෝපදේශ රකින්නන්ට අමතරවය.

සිරිපා කරුණා කිරීමේ පිළිවෙළක් වෙයි. මුලින් ම හමුවන්නේ සීත ගඟු‍ලය. ඉන්පසු ඉඳිකටු පාන, ගෙත්තම් පාන, හැරමිටි පාන, මහගිරි දඹ, අහස් ගවුව හා උඩ මළුව ය. සමනොළ කන්දෙන් ගංගා හතරක් ඇද හැළේ. ඒවා නම් මහවැලි, කැලණි, කළු, වලවේ ය.

බුදුන් වහන්සේ තුන්වැනි වරට ලක්දිව කැලණියට වැඩම වන විට සුමන නම් දෙවිඳුන්ගේ ආරාධනාව පිළිගත් බුදුන් වහන්සේ පන්සියයක් රහතන් වහන්සේ සමඟ සමනොළ කඳු මුදුනට වැඩම කළ සේක‍. බුදුරජාණන් වහන්සේ සුමන සමන් දෙවිඳුන්ගෙන් එක් ප්‍රශ්නයක් විමසූ සේක. ශ්‍රී පාදය කරුණා කරන බැතිමතුන් මෙතරම් විශාල කන්දක් තරණය කරන්නේ කෙසේද යන්නැයි. එවිට සුමන සමන් දෙවිඳුන් මෙසේ වදාළ සේක. “මෙම කන්ද කරුණා කිරීමට පැමිණෙන සැමදෙනා මම ගම් බිම් බලා යන තුරු ආරක්ෂා කරමි.”

වන්දනාකරුවෝ සිරිපා ගමනේ දී එකිනෙකාට සුමන සමන් දෙවිඳුන්ගේ පිහිට ප්‍රාර්ථනා කරති.

“වඳීන්න යන කිරි කෝඩුට
බුද්ධං සරණේ සරණයි
වැඳල බහින මේ නඩේට
සුමන සමන් දෙවි පිහිටයි.”