කොළඹ රැකගන්ඩ චන්දිමාල්ට බැරි වුණා ,කොළඹ ඩවුන්

කොළඹ රැකගන්ඩ චන්දිමාල්ට බැරි වුණා ,කොළඹ ඩවුන්

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි තරගය බවට පත් වුණු මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 139 ක ඉලක්කයක් හඹා ගිය කලම්බු ස්ටාර්ස් පිලට අවසන් පන්දු 24 දී ලකුණු 52 ක් ලබාගත යුතු විය. පිටිය සිසාරා එල්ල කරන ලද හයේ සහ හතරේ පහර නිසා අවසන් පන්දුවාරය වන විට එහි පරතරය පන්දු 6 කට ලකුණු 13 ක් තරම් අවම තත්ත්වයකට රැගෙන ඒමට චන්දිමාල් සමත්වූවේය.

සාකච්ඡා වට කීපයකින් පසු අවසන් පන්දුවාරය යැවීමේ වගකීමේදී එය ලකුණු 11 කට සීමා කිරීමට චාමික කරුණාරත්න සමත්වීම නිසා අවසානයේ අකමැත්තෙන් වුවද වේදනාත්මක තරගාවසානයකින් සෑහීමකට පත්වීමට කලම්බු ස්ටාර්ස් පිලට සිදුවිය. තරගයේ උණුසුම අවසන් පන්දුව දක්වාම ඇදී ගිය මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 6 ක් ලබා ගත යුතු වුවත් චන්දිමාල්ට ලබා ගත හැකි වූයේ ලකුණු 4 ක් පමණි.

16 වැනි පන්දුවාරය තෙක්ම පන්දු 24 කට මුහුණ දී සිටි චන්දිමාල් රැස් කරගෙන සිටියේ ලකුණු 23 ක් පමණි. සියල්ල කණපිට පෙරළෙන්නට ගත්තේ නුවන් ප්‍රදීප් විසින් ක්‍රියාත්මක කරන ලද 17 වැනි පන්දුවාරයෙන් පසුවය. නුවන් ප්‍රදීප් විසින් යවන ලද ඉතිරි පන්දුවාර 2 දී ලකුණු 35 ක් උදුරා ගත් දකුණත් පිතිකරුවා කලම්බු ස්ටාර්ස් වෙතින් ඈතට ගොස් තිබූ ජයග්‍රාහී බලාපොරොත්තු යළි රැගෙන ආවේය. එහෙත් අවසන් පන්දුවාරයේදී දුෂ්මන්ත චමීර දැවී යෑමද කොළඹ ජයග්‍රහණයට එල්ල කරන අතුල් පහරක් විය. චන්දිමාල් හැරුණු විට කලම්බු ස්ටාර්ස් පිල වෙනුවෙන් ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට සමත්වූයේ නායක ධනංජය ද සිල්වා (33) පමණි.

මෙතෙක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට රැස්වූ වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාව හමුවේ සිය පිතිහරඹය දියත් කළ චන්දිමාල් ලකුණක පරාජයක් සිය කණ්ඩායම ඉදිරියෙන් සටහන් වද්දී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමඟින් පන්දු 40 කදී ලකුණු 65 ක් ලබා සිටියේය.