බිම්ස්ටෙක් මහ ලේකම් ජනපති හමුවෙයි.

බිම්ස්ටෙක් මහ ලේකම් ජනපති හමුවෙයි.

බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශය (බිම්ස්ටෙක්) සංවිධානයේ මහ ලේකම් ටෙන්සින් ලෙක්ප්හෙල් (Tenzin Lekphell) මහතා අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා.

පසුගිය වසරේ නොවැම්බර් 06 වන දින බිම්ස්ටෙක් මහ ලේකම් ලෙස පත් වූ ලෙක්ප්හෙල් මහතාගේ පළමු ශ්‍රී ලංකා සංචාරය මෙයයි.

2018 – 2020 කාලසීමාව සඳහා බිම්ස්ටෙක්හි සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමි වුණා.

එම කාලසීමාවේ දී ත් ආරම්භක සාමාජිකයෙකු ලෙසත්, බිමිස්ටෙක් සංවිධානය සඳහා ශ්‍රී ලංකාව දැක්වූ දායකත්වය මහ ලේකම් ටෙන්සින් ලෙක්ප්හෙල් මහතාගේ ඇගයීමට ලක් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

බිම්ස්ටෙක් සංවිධානය හරහා ගොඩනගන කලාපීය සහයෝගීතාව වඩා ඵලදායී විය යුතු බවත් කලාපයේ වෙසෙන ජනතාවට එහි ප්‍රතිලාභ සෘජුවම ලබාදිය හැකි අයුරින් සාමාජික රටවල් සහ මහ ලේකම් කාර්යාලය සමග කැපවීමෙන් ක්‍රියා කරන බවත් ජනාධිපතිවරයා මහ ලේකම්වරයා සමග ප්‍රකාශ කර තිබෙනවා.

බිම්ස්ටෙක් ප්‍රඥප්තිය සම්පූර්ණ කිරීම මගින් ආයතනික ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව කෙරෙහි ශ්‍රී ලංකාව අවධානය යොමු කර ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

බිම්ස්ටෙක් හි අනාගත ක්‍රියාකාරකම් වෙනුවෙන් සාමාජික රටවල් අතර විශේෂිත වූ ක්ෂේත්‍ර බෙදාගැනීම සිදු විය යුතුයි.

විද්‍යාව, තාක්ෂණ, නවෝත්පාදන අංශ, ශ්‍රී ලංකාවට අදාළ ප්‍රධාන ක්ෂේත්‍ර වනවා.

ඒ වෙනුවෙන් ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරි මාස කිහිපයේ දී ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි, ජනාධිපතිවරයා පෙන්වා දී ඇති බවද සඳහන්.

කොවිඩ් වසංගතය හේතුවෙන් නියමිත කාලපරිච්ඡේදය තුළ පැවැත්වීමට නොහැකි වූ පස්වන බිම්ස්ටෙක් සමුළුව ලබන වසරේ මුල් කාර්තුව තුළ පැවැත්වීමට හැකි වෙනු ඇතැයි ද ජනාධිපතිවරයා විශ්වාය පළ කරනවා.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, බිම්ස්ටෙක් ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරුන් වන හොසෙයින් මොෂාරෆ් (Hossain Mosharaf), මහිශිනී කොලොන්නේ (Mahishini Colonne) යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්ව සිටි බවද සඳහන්.