එක්ස්ප්‍රස් පර්ල් – කාදිනල් හිමිගේ පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම සඳහා නොවැම්බර් 09 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියමකර තිබේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පාරිසරික විනාශය පිළිබඳව විධිමත් අධ්‍යයනයක් සිදුකරන ලෙසත් එම අනතුර හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ධීවර ජනතාවට වන්දි වශයෙන් රුපියල් බිලියන 7.77 ක් ගෙවන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් එම පෙත්සම ගොනුකර තිබුණි.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය, එහි සභාපති වරයා, එහි හාබර් මාස්ටර්වරයා, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය ඇතුළු 20 දෙනෙකු නම්කර තිබේ.

පෙත්සම්කාර කාදිනල් හිමිපාණන් කියා සිටින්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම හේතුවෙන් ඇතිවූ පාරිසරික හානිය පිළිබඳව මේ දක්වා විධිමත් පරීක්ෂණයක් සිදුකර නොමැති බවය.

එමෙන්ම අදාළ අනතුර හේතුවෙන් කොළඹ, ගම්පහ සහ කලුතර දිස්ත්‍රික්කවල වෙසෙන ධීවරයින්ගේ ජීවනෝපාය අහිමිවී ඔවුන් දැඩි ආර්ථික අගතියට පත්වූ බව ද උන්වහන්සේ සඳහන් කළහ.

ඒ අනුව අදාළ අනතුර හේතුවෙන් ඇති වූ පාරිසරික හානිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා මින්මතු මෙවැනි සිදුවීම් ඇතිවීම වළක්වා ගැනීමට අදාළ වැඩපිළිවෙළක් සකස්කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා සිටී.

එමෙන්ම  අදාළ අනතුර හේතුවෙන් ඉකුත් මැයි 21 වනදා සිට සැප්තැම්බර් මස 6 වනදා දක්වා කාලසීමාව තුළ රැකිරක්ෂා අහිමිවූ කොළඹ, ගම්පහ සහ කලුතර දිස්ත්‍රික්කවල වෙසෙන ධීවරයන්ට වන්දි වශයෙන් රුපියල් බිලියන 7.77ක් ගෙවන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත්කරන ලෙස ද කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් සිය පෙත්සමෙන් වැඩ දුරටත් ඉල්ලා තිබුණි.

COMMENTS