ගව ඝාතනය තහනම් කිරීමට අදාළ සංශෝධිත පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට

මෙරට තුළ ගව ඝාතනය තහනම් කිරීමට සහ ඊට අදාළ නීති සහ රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඊයේ (18) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අමාත්‍ය මණ්ඩලයට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇති අතර එහිදී ඊට අදාළ අනුමැතිය හිමිව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දේශීය කෘෂිකර්මාන්තය සහ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ගව ඝාතනය තහනම් කිරීමටත්, ඊට අදාළ නීති සහ රෙගුලාසි මෙන්ම ගව ඝාතනයට අදාළව පළාත් පාලන ආයතන විසින් සම්මත කරන ලද අනු නීති සංශෝධනය කිරීමටත්, පසුගිය වසරේ සැප්තැම්බර් මස 28 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවුණි.

ඒ අනුව පනත් සහ ආඥා පනත් කිහිපයක් සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පත් සකස් කර ඇති බව සඳහන් වේ.

*272 අධිකාරය වන 1893 අංක 9 දරණ ගව ඝාතක ආඥාපනත

*1958 අංක 29 දරණ සත්ත්ව පනත

* 525 අධිකාරය වන මහනගර සභා ආඥාපනත

*255 අධිකාරය වන නගර සභා ආඥාපනත

*1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත

එම කෙටුම්පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට අනනුකූල නොවන බව නීතිපතිවරයා විසින් සහතික කර තිබේ.

ඒ අනුව එම පනත් කෙටුම්පත් රජයේ  ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් නියමිත අතර ඒ සදහා  අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන් වේ.