ශ්‍රී ලංකාව: කාන්තාවන් තනපටය ඇඳීම අත්‍යවශ්‍ය ද? සෞඛ්‍ය උපදෙස් මොනවා ද?

දවසේ පැය ගණනාවක් ඇඟලා සිටි හම පසාරු කරගෙන යන තරමේ තද තනපටය නින්දට යන මොහොතේ ගලවා දැමීම අන් කිසිවකටත් වඩා සහනයක් ගෙන දෙයි.

සියවස් ගණනාවක සිට කාන්තාවන් මේ අපහසු නමුත් අත්‍යවශ්‍ය යැයි සැළකෙන ඇඳුම් ඇඳගෙන සිටියද, වර්ථමාන ලෝකයේ බොහෝ කාන්තාවෝ තනපටය ඇඳීම අත්හැරීමට හෝ අවම කිරීමට ක්‍රියා කරමින් සිටිති.

ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ක්‍රියාත්මක වන කාන්තා පිටුවල ද මේ පිළිබඳ දීර්ඝ සංවාද නිරන්තරයෙන් දක්නට ලැබේ.

“බ්‍රා එකක් අඳින්නේ නැතුව ඉන්න එක ගැන මට නම් හිතන්නවත් බැහැ. ඒක මට අත්‍යවශ්‍ය දෙයක්. අනික එහෙම ඇන්දේ නැති වුණාම පියයුරු එල්ලෙනවා කියලා මම අහලා තියෙනවා. එකේ හරි වැරැද්ද මම දන්නේ නැහැ. හැබැයි බ්‍රා එක මගේ ඇඟේ කොටසක්,” මිනුවන්ගොඩ ප්‍රදේශයේ කාන්තාවක පැවසුවාය.

වසංගත කාලය තුළ සතියේ වැඩි කාලයක් නිවසට වී සිටීම හේතුවෙන් තනපටය ඇඳීම අවම කළ බොහෝ පිරිසක් ද සිටිති.

“බ්‍රා එක කියන්නේ පුදුම අපහසු ඇඳුමක්. ගෙදර ඉන්නකොට ඇයි ඇඟ ඔය තරම් තද කරගෙන ඉන්නේ. ගැහැණියකටත් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. බ්‍රා එක ඇන්දේ නැති වුණාම පියයුරු එල්ලා වැටෙනවා කියන එක මම කොහෙත්ම පිළිගන්නේ නැහැ,” ගල්කිස්ස දිවි ගෙවන කාන්තාවක පැවසුවාය.

මේ මාතෘකාව සම්බන්ධයෙන් කාන්තාවන් අතර ඇත්තේ පරස්පර අදහස්ය.