ලොහාන් රත්වත්තේ ගැන පොලිස් විමර්ශනයක් කෙරෙනවා ද?

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූවද තවදුරටත් මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරය දරන ලොහාන් රත්වත්තේ ගැන පැමිණිල්ලක් පොලිස් ස්ථානයකට ලැබුණු බවට මේ දක්වා වාර්තා වී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව අද පෙරවරුවේ (සැප්තැම්බර් 17) බීබීසී සිංහල සේවයට පැවසුවේය.

”CID එකට සිරකරු අයිතීන් සුරැකීමේ සංවිධානයෙන් ලිපියක් භාර දීලා තියෙනවා. CID එක ඒ ලිපිය සම්බන්ධයෙන් ඔවුන්ගේ විමර්ශන ක්‍රමවේදය අනුව කටයුතු කරයි. නමුත් කිසිම පැමිණිල්ලක් පොලිස් ස්ථානයකට ලැබුණු බව මට වාර්තා වෙලා නෑ.” යනුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මේ අතර “අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වී ඇති පැමිණිල්ල වහාම විමර්ශනය කරන ලෙස පොලිස්පතිවරයාට උපදෙස්” දුන් බව මහජන ආරක්ෂක අමාත්‍ය, ආචාර්ය සරත් වීරසේකර පවසයි.

තවත් පුද්ගලයන් සමග බීමතින් වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වීම හා එහි නියාමකවරුන්ට තර්ජන කිරීම, අනුරාධපුර බන්ධනාගාරයට බීමතින් පිස්තෝලයක් රැගෙන ගොස් බලහත්කාරයෙන් ඇතුළුවීම සහ සිරකරුවන්ට තර්ජනය කිරීම යන චෝදනා ලොහාන් රත්වත්තේට එල්ල වී තිබේ.

මේ ගැන විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙසත්, ලොහාන් රත්වත්තේ සහ එයට අදාළ පාර්ශවයන් අත්අඩංගුවට ගන්නා ලෙසත් පාර්ශව ගණනාවක් රජයෙන් ඉල්ලා සිටියහ.

‘මන්ත්‍රී ධුරයක වගකීමක් දැරීමටවත් විශ්වසනීය පුද්ගලයෙකු නොවේ.’

ලොහාන් රත්වත්තේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන සහ අපක්ෂපාතී අපරාධ පරීක්‍ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව අවධාරණය කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඔහුට එරෙහිව තිබෙන චෝදනා හමුවේ කිසිදු රාජ්‍ය ධූරයක් දැරීමට ඔහු නුසුදුසු බව දක්වමින් නිවේදනයක් නිකුත් කර ඇත.

”ලොහාන් රත්වත්ත මහතාට එරෙහිව තිබෙන චෝදනා ඉතා බරපතළ වන අතර එබැවින් සිරකරුවන් සම්බන්ධයෙන් වගකිව යුතු අමාත්‍යාංශයක් භාරව සිටීමට වත් වෙනත් ඇමති තනතුරක හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක හෝ වගකීමක් දැරීමට වත් ඔහු විශ්වසනීය පුද්ගලයෙකු වන්නේ නැත.”

”එවැනි සාපරාධි ක්‍රියා සම්බන්ධයෙන් පූර්ණ හා අපක්ෂපාතී විමර්ශනයක් සිදුකළ යුතුය. චෝදනා ඔප්පු වුවහොත් දණ්ඩනයට ලක් කළ යුතුය.”

”ලොහාන් රත්වත්තේ මහතා විසින් සිදුකළ බවට චෝදනා එල්ල වන බරපතළ සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාකරන ලෙස නීතිපතිවරයා හා නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන් වෙතින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා සිටියි.” යනුවෙන් එම නිවේදනයේ සඳහන් වේ.