පොහොර අර්බුදය : ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ කාබනික පොහොර කතාව වෙනස් කරයි

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ඔත්තෝබර් 13 වැනි දා නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව මහ කන්නය සඳහා අවශ්‍ය පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 30,000ක් ශ්‍රී ලංකාවට ආනයනය කර තිබේ.

ඒ පුවත රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ ප්‍රධාන මාධ්‍ය ද වාර්තා කරන ලදී. එහෙත් පොටෑසියම් ක්ලෝරයිඩ් යනු කාබනික සංයෝගයක් නොවන බව රසායන විද්‍යාඥයින්, රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරුන් සහ රසායන විද්‍යාව හදාරන ලද බොහෝ දෙනෙකු පවසති.

මේ ගැන කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ෆේස් බුක් ගිණුමෙහි තබන ලද සටහන ද පසුව වෙනස් කළ බව ද සඳහන් කරමින් බොහෝ දෙනා සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කර ඇති ආකාරය දක්නට ලැබේ.

”කාබනික පොටෑසියම් ක්ලෝරයිඩ් කියලා ජාතියක් නැහැ.”

‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ යනු කාබනික සංයෝගයක් නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය එස්.ඩී.එම් චින්තක බීබීසී සිංහල සේවයට පැවසුවේය.

”අපි සාමාන්‍යයෙන් කාබනික කියලා කියන්නේ කාබන් පරමාණු අඩංගු සංයෝගවල ඔක්සිකරණ අංකය ධන 04 නොවන ඕනෑම කාබනික පරමාණුවක් තියෙන සංයෝගයක්. කාබනික සංයෝගයක් වුණහම අනිවාර්යෙන් කාබන් තියෙන්න ඕනා. හැබැයි කාබන් තියෙන හැම සංයෝගයක්ම කාබනික සංයෝග වෙන්නෙත් නෑ. පොටෑසියම් ක්ලෝරයිඩ් කිවුවහම ඒකෙ තියෙන්නේ පොටෑසියම් සහ ක්ලෝරීන් විතරයිනේ. කාබනික පොටෑසියම් ක්ලෝරයිඩ් කියලා ජාතියක් නැහැ. ඒවා අකාබනිකයි.” යනුවෙන් මහාචාර්ය එස්.ඩී.එම් චින්තක විස්තර කළේය.

මේ පිළිබඳව බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, මහාචාර්ය උදිත ජයසිංහ පැවසුවේ ශ්‍රී ලංකාවට ගෙන්වා තිබෙන්නේ පොටෑසියම් ක්ලෝරයිඩ් බවයි.

”පොටෑසියම් ක්ලෝරයිඩ් ඛනිජ ප්‍රභවයක්. ඕනෑම දෙයක් රසායනිකයි. ඒක තුළ තමයි කාබනික සහ අකාබනික ද්‍රව්‍ය තියෙන්නේ. එයින් සමහර ඒවා කෘතිමයි. අනෙක් ඒවා ස්වාභාවිකයි. කාබනික ද රසායනික ද කියනවාට වඩා පරිසර හිතකාමී ද නැද්ද කියන එක ගැන අවදානය යොමු කිරීම වටිනවා. පොටෑසියම් ක්ලෝරයිඩ් කියන එක ගසට අවශ්‍ය ප්‍රමාණයට යෙදීමේ ගැටලුවක් නෑ. හැබැයි ප්‍රමිතියට වඩා දැම්මොත් කොයි එකත් හොඳ නෑ.”

”අපි ඉදිරියේදී නැනෝ තාක්ෂණය මත පදනම් වූ නයිට්‍රිජන් ප්‍රභවයක් යොදා ගන්නවා. ඒක දියරයක් විදියට ගසට දිය කරලා දැම්මහම හරිම කාර්යක්ෂමයි. ඒකෙන් හෙක්ටයාරයකට භාවිත කරන යූරියා ප්‍රමාණය කිලෝ 225 සිට මේක 2.5 දක්වා අඩු කර ගන්න පුළුවන්. ඒක සමග අපිට පොටෑසියම් ප්‍රභවයක් අවශ්‍ය වෙනවා. ඒකට තමයි පොටෑසියම් ක්ලෝරයිඩ් ගෙනාවේ.” යනුවෙන් මහාචාර්ය උදිත ජයසිංහ වැඩිදුරත් කියා සිටියේය.

ආනයනය කරන ලද පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර පිරිසිදු ඛණිජ සම්භවයක් ඇති පොහොර වර්ගයක් බව කෘෂිකර්ම දෙපර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා තහවුරු කර තිබේ යනුවෙන් කෘෂිකර්ම අමාත්‍යංශය අද සවස නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කාබනික ගොවිතැන සඳහා මෙම පොහොර යොදා ගැනීම ඉතාම සුදුසු බව ද ඔහු අවධාරණය කරන බව සඳහන් කරමින්.