දිවි නැගුම නඩුවෙන් බැසිල් නිදොස් කොට නිදහස්

හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේය.

ඒ, එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා හමුවේදී  කැඳවූ අවස්ථාවේදී ය.

2015 ජනාධිපතිවරණ සමයේ දී සමෘද්ධි ලාභීන්ට නිවාස ආධාර ලබා දීම සඳහා ගොඩනැගුණු දිවි නැගුම අරමුදලින් රුපියල් මිලියන 2,994ක මුදලක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වැය කිරීම හරහා රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට පොදු දේපළ පනත යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව මහාධිකරණය හමුවේ චෝදනා හතරක් යටතේ ගොනු කර තිබිණි.

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි යන අය මෙම නඩුවේ චූදිතයන් ලෙස නීතිපතිවරයා විසින් නම් කර තිබිණි.