කොවිඩ්හි සම්භවය සොයාගැනීමට ඇති අවසන් අවස්ථාව එළඹිලා – ලෝක සෞඛ්‍ය සංවිධානය

කොවිඩ්-19හි සම්භවය සෙවීමට ඇති අවසන් අවස්ථාව, ඒ සඳහා නව කාර්යය සාධක බලකායක් පත්කිරීම විය හැකිබව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ ය.

‘Scientific Advisory Group on the Origins of Novel Pathogens (Sago)’ (නවක රෝගකාරකයන්හි සම්භවය පිළිබඳ විද්‍යාත්මක උපදේශක කණ්ඩායම) යනුවෙන් හැඳින්වෙන එම බලකායට එක්වීම සඳහා විශේෂඥයින් 26 දෙනෙකුගේ නම් යෝජනා කර ඇත.

නව කොරෝනාවෛරසය චීනයේ වූහාන් නුවරින් හඳුනාගෙන වසර එකහමාරකටත් වැඩි කාලයක් ගතවුව ද, එය මුලින්ම මතුවූයේ කෙසේ ද යන්න තවමත් අපැහැදිලි ය.

වෛරසය වූහාන් වෙළඳපොළේ දී සතෙකුගෙන් මිනිසාට පැතිරුණි ද, එසේත් නොමැතිනම් විද්‍යාගාර අනතුරක් හේතුවෙන් පිටතට කාන්දු වූයේ ද යන්න මෙම කණ්ඩායම විසින් සලකා බැලෙනු ඇත.

චීනය මේ දෙවැනි කල්පිතය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

කොවිඩ්හි මූලාරම්භය සෙවීමේ අරමුණින් පෙබරවාරියේ දී චීනයට පියාසර කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායමක් නිගමනය කළේ වෛරසය පැමිණෙන්නට ඇත්තේ වවුලන්ගෙන් බව යි. කෙසේ නමුත් එය තහවුරුකර ගැනීමට නම් තවත් පර්යේෂණ සිදුකිරීම අවශ්‍යබව ඔවුහු ප්‍රකාශ කළෝ ය.

නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් ඇඩනම් ගේබ්‍රියසස් පසුව පවසා සිටියේ චීනයේ විනිවිදභාවය අඩුකම සහ දත්ත මඳකම හේතුවෙන් විමර්ශනය ඉදිරියට ගෙනයෑමට බාධා එල්ල වුණුබව යි.

පෙබරවාරි මාසයේ දී චීනයට ගිය කණ්ඩායමේ සිටි විශේෂඥයින් සය දෙනෙකු ද Sago කණ්ඩායම සඳහා යෝජිත සාමාජිකයින් අතරට ඇතුළත් ය.

Sago කණ්ඩායම කොරෝනාවෛරසය හැරුණු විට වෙනත් අධි අවදානම් රෝගකාරකයන්හි මූලාරම්භය පිළිබඳව ද සොයා බලනු ඇති.

“අනාගතයේ දී වසංගත රෝග පැතිරීම වැලැක්වීමට නම් නව රෝගකාරකයන් පැමිණෙන්නේ කොහෙන්දැ යි සොයාගැනීම අත්‍යවශ්‍ය යි,” ආචාර්ය ටෙඩ්‍රොස් පැවසීය.

‘Science’ ජර්නලයේ පළවුණු ඒකාබද්ධ කතුවැකියකින් ආචාර්ය ටෙඩ්‍රොස් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනෙකුත් නිලධාරීන් පැවසුවේ “විද්‍යාගාර අනතුරක් සිදුවූයේ ය යන කල්පිතය බැහැර කළ නොහැකි” බව ය.

“නව කොරෝනාවෛරසයේ සම්භවය වටහා ගැනීමට ඇති අවසන් අවස්ථාව” Sagoහි ව්‍යාපෘතිය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි තත්ත්වයන් පිළිබඳ අධ්‍යක්ෂ මයිකල් රයන් පවසයි.

නව කණ්ඩායම පිළිබඳ නිවේදනය නිකුත්වූයේ, වසංගතයේ මුල් මාසවල දී ලේ බැංකු මඟින් ලබාගත් රුධිර සාම්පල දස දහස් ගණනක් පරීක්‍ෂා කිරීමට චීනය සූදානම් වෙතැ යි CNN ප්‍රවෘත්ති සේවය වාර්තා කිරීමත් සමග ය.

නමුත් ජිනීවාහි එක්සත් ජාතීන් වෙත පත්කළ චීන තානාපති චෙං ෂු ප්‍රකාශ කළේ Sagoහි කර්තව්‍යය “දේශපාලනීකරණය” නොකළ යුතුබව යි.

“වෙනත් රටවලටත් කණ්ඩායම් යැවීමට කාලය පැමිණ තිබෙනවා,” ඔහු පැවසීය.