අධ්‍යාපනයට අයවැයෙන් ලැබෙන සහන

අධ්‍යාපනයට අයවැයෙන් ලැබෙන සහන

2025 වසරේ සිට සිසුන් වෙනුවෙන් ලබාදුන් රු 6,000ක ලිපිද්‍රව්‍ය දීමනාව 2026 වසර තෙක් අඛණ්ඩව පවත්වාගෙන යෑමට රජය මෙවර අයවැයෙන් යෝජනා කර ඇත.

මේ සඳහා අස්වැසුම වැඩසටහන තුළින් රු මිලියන 9,000ක් වෙන්කර තිබේ.

මේ අතර අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධිත දරුවන් සඳහා වෛද්‍ය නිර්දේශ මත එක් දරුවෙකුට රු 5,000ක දීමනාවක් මාසිකව ලබාදීම සඳහා රු මිලියන 50ක් අයවැයෙන් යෝජනා කර ඇත.

මේ අතර, විශ්වවිද්‍යාල සඳහා බඳවා ගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 43,000ක් දක්වා ඉහළ නංවුවත් පහසුකම් ප්‍රමාණවත් නොවීම බරපතළ ගැටලුවක් වන බැවින් ශිෂ්‍යයන්ගේ නේවාසිකාගාර, ආපනශාලා සහ පොදු ඉගෙනුම් ප්‍රදේශ ආදිය දියුණු කිරීමට රු මිලියන 2,5000ක ප්‍රතිපාදන වෙන්කෙරේ.

මේ අතර, වෛද්‍ය පීඨයන් ඇති කළ ද ගුණාත්මක වෛද්‍ය අධ්‍යාපනයන් සඳහා අවශ්‍ය මහාචාර්ය ඒකක, විද්‍යාගාර පහසුකම් නොමැති වීම නිසා ගැටලු රැසක් පැනනැගී තිබේ. මේ නිසාවෙන් සබරගමුව, මොරටුව, රුහුණ, ඌව වෙල්ලස්ස සහ නැගෙනහිර විශ්වවිද්‍යාල ඇතුළු වෛද්‍ය පීඨ සංවර්ධනයට රු මිලියන 11,000ක ප්‍රතිපාදන යෝජනා කර ඇත.

මීට අමතරව විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල පහසුකම් වැඩිදියුණු කිරීමට හා පර්යේෂණ කටයුතු සඳහා රු මිලියන 11,500ක ප්‍රතිපාදන වෙන්කෙරේ.

මේ අතර විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර දීමනාව 2026 වසරේ දී ජීවන වියදමට සරිලන ලෙස රු 2,500කින් ඉහළ දැමීමට යෝජනා කර තිබේ. ඒ අනුව මාසික දීමනාව රු 10,000ක් වේ. ඒ අනුව ශිෂ්‍යාධාර දීමනාව රු 9,000ක් දක්වා ඉහළ නැංවේ. මෙයට සමගාමීව නිපුණතා සිසු දිරිය දීමනාව රු 2,500කින් වැඩි කෙරේ.

උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ආබාධ සහිත ශිෂ්‍යයින් දිරි ගැන්වීමේ අරමුණින් අඩු ආදායම්ලාභී පවුල්වල ශිෂ්‍යයින් සඳහා රු 5,000ක දීමනාවක් මාසිකව ලබාදීමට රුපියල් මිලියන 50ක් වෙන් කිරීමට යෝජනා කෙරේ.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශිෂ්ෂණලාභීන් සඳහා ගෙවනු ලබන දීමනාව රු 2,500කින් වැඩි කිරීමට යෝජනා කෙරේ. එම වැඩිවෙන දීමනා ගෙවීමට දැනට වෙන්කර ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 2,750ක් වෙන් කිරීමට යෝජනා කර තිබේ.

තෝරාගත් විශ්වවිද්‍යාලවල, විශේෂයෙන්ම අග්නිදිග, යාපනය (කිළිනොච්චි), වව්නියාව, නැගෙනහිර සහ සබරගමුව වැනි විශ්වවිද්‍යාල සඳහා නේවාසිකාගාර ගොඩනැඟිලි ඉදිකිරීමට අයවැයෙන් රුපියල් මිලියන 1,500ක් වෙන් කරනු ලබන අතර රට තුළ පැවතිමූල්‍යමය අබුදය හේතුවෙන් නිසි පරිදි නඩත්තු කර නොමැති නේවාසිකාගාර ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ද මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. මින් ඉදිරියට විශ්වවිද්‍යාල සිසුන් සඳහා නේවාසිකාගාර පහසුකම් සැපයීමේ දී අවට ප්‍රජාවගේ ගොඩනැඟිලි පහසුකම් යොදාගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරේ.‍

වෘත්තීය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩිකොට, නිසි ගරුත්වයක් සහිත රැකියා අවස්ථා සුලබ කිරීම ක්‍රියාත්මක වීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් අපේක්ෂා කරනවා.
ඒ අනුව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල පහසුකම් වැඩි දියුණු කිරීම, විෂය පාඨමාලා නවීකරණය කිරීම, ගුරුවරුන් හා උපදේශකයන් පුහුණු කිරීම වැනි කායයන් අඛණ්ඩව සිදුකරනු ඇත.

වෘත්තීය අධ්‍යාපන හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 9 ක්, විශිෂ්ටතා මධ්‍යස්ථාන (Center of Excellence) ලෙස වැඩි දියුණු කිරීම හා දිවයින පුරා පුහුණු මධ්‍යස්ථාන 50 ක් වැඩි දියුණු කිරීම 2026 වසරේ ආරම්භ කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 2,000 ක් ඇතුළුව සමස්තවෘත්තීය පුහුණු අධ්‍යාපනයේ අභිවෘද්ධිය වෙනුවෙන් රු මිලියන 8,000ක් වෙන්කර තිබේ.

COMMENTS